Tuesday, February 10, 2015

පහල හපුවිද ලාක්ෂා කර්මාන්තය.

පහල හපුවිද ලාක්ෂා කර්මාන්තය.


මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශිය කොට්ඨාෂයේ පිහිටි ග්‍රාමයකි පහළ හපුවිද. ගොවිතැන ජීවිකාව කොට ගත් මෙම ග්‍රාමයේ පවුල් 273 ක් ජීවත් වෙති. මෙම පිරිස ලාක්ෂා කර්මාන්තයට විශේෂ දස්කමක් දක්වන ලද පිරිසක් වේ. පෙර රජ දවස මහනුවර රජමාළිගයේ කැටයම් කිරීමේ කටයුතු පහල හපුවිද ග්‍රාමයේ ශිල්පීන් විසින් සිදු කළ බවට තොරතුරු ලැබේ.  විශේෂයෙන්ම ශ්‍රි දළදා මාළිගයේ කැටයම් නිර්මාණය කරන ලද්දේ ද පහල හපුවිද ලාක්ෂා ශිලපීන් විසින්ය. ලාක්ෂා කර්මානතයට අමතරව ලාක්ෂා කර්මාන්තයට අවශ්‍යවන වෙනත් හස්ත කර්මාන්තයන්ද මෙම ග්‍රාමයේ පවති.
            රන්,රිදි, තඹ, පිත්තල යකඩ මෙන්ම වඩු කර්මාන්තය ද මෙම පහල හපුවිද ග්‍රාමයේ පවති. විශේෂයෙන්ම කම්මල් වැඩ ලාක්ෂා කර්මාන්තය පවත්වා ගෙන යාමට අවශ්‍ය දෙයක් වේ. ලාක්ෂා කර්මාන්තය සදහා පාවිච්චි කරනු ලබන ආයුධ සකස් කිරීම සහ අලුත් වැඩියා කිරීම සදහා යකඩ කම්හල් කර්මාන්තය වැදගත් වේ.  
ලාක්ෂා කර්මානතය ඈත අතීතයේ සිටම දක්නට ලැබෙන බව කියවේ. ජනප්‍රවාදයට අනුව ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඩම වන අවස්ථාවේ මෙරටට පැමිණි දහ අට කුලයකට අයත් පිරිස් අතර ලාක්ෂා ශිල්පීන් සිටි බව කියවේ. එහෙත් ලාක්ෂා කර්මාන්තයට පහල හපුවිද ප්‍රදේශය සම්බන්ධ වනුයේ මහනුවර යුගයේදී ය. ක්‍රි:ව 1634 දි පමණ දෙවන රාජසිංහ රජුගේ කාලයේදිය. මෙකල රජ මාළිගයට අවශ්‍ය වු ලාකඩවලින් කරන ලද අවිඅතු, බස්කම්, තිරපොලු, ජනෙල් පොලු, මේස, ආදිය ලාකඩවලින් කැටයම් කර ලබා ගැනීමට වු අවශ්‍යතාවය අණ බෙර මගින් ප්‍රසිද්ධ කරන ලදි.
ඒ අනුව සතර කොරළේ දනාගමුව හංගිදි ගෙදර පුසුබ අප්පු නැමැත්තා මේ කාර්ය සදහා ඉදිරි පත් විය. මෙම වැඩය සදහා කැතල ලී අවශ්‍ය බව පුසුබ අප්පු රජුගෙන් ඉල්වා ඇත. එම ලී වර්ගය නියඹේපොල, වැල්ල, දොළුව අමුණු ගමේ ඔය දෑලේ සහ ඇල්කඩුව නිකවැල්ල හේන ගමේ ඇති බව යුව රජු වු ගොඩපොල විජයපාල රජුගෙන් දැනගන්නට ලැබුණි. දෙවන රාජසිංහ රජු විසින් පුසුබ අප්පුට මෙම ප්‍රදේශය ගම්වරයක් වශයෙන්ප්‍රodනය කරන ලදි. භාණ්ඩාගාරයෙන් මිනිසුන් 60 දෙනකුට පහසුවෙන් ගෙන යා හැකි කෑම වර්ග සහ හැපී නැමති ඇතින්න ද පුසුබ අප්පුට ලබා දි ගමට පිටත් කරන ලදි. මේ අය සමග හැපී නැමති ඇතින්න ඉහත ගමේ ඔයේ තිබුණ ආදාවල නැමති ස්ථානයේ හිද ගන්නා ලදි. ඒ නිසා මෙම ගම හැපිහිද යනුවෙන් භාවිතා කරන ලදි. හැපිහිද පසුව හපුවිද යනුවෙන් ව්‍යවහාර විය.
            දෙවන රාජසිංහ රජුගෙන් පසුව දිගටම රජමාළිගයට අවශ්‍ය අවිඅතු, බස්තම්, තිර, ජනෙල් පොලු, ආදි ද්‍රව්‍යයන් වර්ෂයක් පාසා පහළ හපුවිද පුසුබ අප්පුගේ පරපුර විසින් සපයන ලදි. මෙයට අමතරව ප්‍රභු පවුල් සදහා අවශ්‍ය ලාක්ෂා භාණ්ඩත් සපයන් ලදි. මේ සදහා අවශ්‍ය දුව්‍ය අවට ප්‍රදේශයෙන් හා  දුර බැහැර ප්‍රදේශවලින් සපයා ගන තිබේ. ලාකඩ, කෝන්, මසං, කැප්පෙටියා ගස්වල කෘමීන් විසින් සාදන ලද කූඩුවල කුඩු සූරා ගෙනවිත් රත් කොට ලාකඩ පෙරාගෙන ඒවාට පාට වර්ග එකතු කොට පහත සදහන් ආකාරයට සකසා ගෙන ඇත.
රතු කුඩු - සාදලිංගම් නැමති රතුගල් කුඩු කරගෙන ඇත.  ඇත් දළ පාට, කහ නිල් පාට වර්ග සදහා ද පොළවේ ඛනිජ වර්ග යොදාගෙන වර්ණ සකස් කර තිබේ.
            ලාක්ෂා කර්මාන්තයේ නියපොතු වැඩ සහ පට්ටල් වැඩ වශයෙන් කොටස් දෙකකට බෙදේ.  නියපොතුවැඩ මහින්දාගමනයෙන් පසු ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම වන අවස්ථාවේ පැමිණි අටලොස්කුල ශිල්පීන්ට සම්බන්ධය. එම පරම්පරාවේ පිරිස්ක් මාවනැල්ල දනාගමුවේ සිට රජවාසලට අවශ්‍ය උපකරණ සපයා ඇත. පහල හපුවිද පැමිණි පුසුබු අප්පු දනාගමුවේ පරම්පරාවේ කෙනෙකු බව පැහැදිලිය. හැරමිටි, බස්තම්, සේසත්, අවුඅතු, මිටි, තිරපොල, බටනලා, කැට, හැදි, ආභරණ පෙට්ටි, පුටු, බංකු, ඇදන්, තොටිලි, දුණු, ඊතල, සන්නස්, කොපු, බෝල, ආදිය නියපොතු වැඩ ලෙස සැළකේ.
            පට්ටල් වැඩ 1927 ශ්‍රි ලංකාවෙන් ඉන්දියාවේ ලාහෝර්වලට ගිය පිරිසක් පුහුණුව ලබා ඇත. පහල හපුවිද ප්‍රදේශයේ සිටි කේ.එච්  අබේවර්ධන නැමැත්තා ද ඒ පිරිස සමග ගොස් පුහුණුව ලබා ඇත. හදුන් කූරු ස්ටැන්ඩ්, ඉටි පන්දම් ස්ටැන්ඩ්, ඇස්ටර්, පවුඩර් පෙට්ටි, ආභරණ පෙට්ටි, ස්ටූල්, කේක් පෙට්ටි, බෝල, දාන් ලෑලි, දුනු කැට, ආදා පට්ටල් වැඩ මෙහි සිදු වේ.

මහාවංසය

මහාවංසය
පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.
            පුරාතන සිංහලයන්ගේ ඓතිහාසික චින්තනයේ අග්‍රඵලය වු මහාවංසය වරින් වර කොටස් එක් කිරීමෙන් එකී එකී අවධීය දක්වා සම්පුර්ණ කරන ලද අතර අඛණ්ඩ යුග පරම්පරානුකූලව දිවයිනේ ඉතිහාසය ගෙන හැර පෑම එහි අභිප්‍රාය විය. මෙසේ ක්‍රිස්තු වර්ෂ හයවන සියවසේ මුල් භාගයේදි මහාවංසය රචනා කිරීම ලංකාවේ ඉතිහාසය ලිවීමේ සම්ප්‍රදායේ ඉතා වැදගත් අවස්ථාවක් විය.
            ඉන්දියාවේ ජාතික ඉතිහාසයක් බිහිවුයේ නැත. එරට නිතර පැවති දේශපාලන අසමගිකම් නිසා එබදු කෘතියක් බිහි විය හැකි නොවිය. අධිරාජ්‍යවල හා රාජවංශයන්ගේ උන්නතිය හා අවනතියත් රාජ්‍යයන්ගේ දේශ සීමා නිරන්තරයෙන් වෙනස් වෙමින් පැවතීමත් සම්පුර්ණ භාරතයම අළලා ඉතිහාසයක් ලිවීමට හිතකර පරිසරයක් නොවීය. එහෙයින් ලංකාවේ වංශ කථා සදහා ආදර්ශයට ගත හැකි කෘතියක් භාරතයේ නොවීය. ඇතමෙක් ඉන්දියාවේ පැවති විනාශ වි යන්නට ඇතැයි සිතීමට පෙළඹෙති. එහෙත් සි. එච් පිලිප් තර්ක කරනුයේ විනාශ කිරීමට ඉතිහාස කෘති ම විශේෂයෙන්ම තෝරා ගත්තා යැයි සිතන්නට හේතුවක් නොමැති බවයි. මහාවංශය හා සැසදිය හැකි එකම ග්‍රන්ථය වන රාජතරංගිණිය හෙවත් කාශ්මීර වංශ කථාව රචනා කරන ලද්දේ ලංකා වංශ කථාව ලිවීමට පසු අවධියක් වන ක්‍රිස්තු වර්ෂ දොළොස්වන සියවසේ දී ය. හබැවින් එය ලංකාවේ කීතියට ආදර්ශයක් වීමට නොපිළිවන.
මහා වංශය වැනි ඓතිහාසික වංශ කතාවලට පදනම් වු ඓතිහාසික සාහිත්‍ය දියුණු වුයේ බෞද්ධ ආරාමවලය. පාලි ත්‍රිපිටකයෙහි බුදුන් වහන්සේගේ දේශනා හැම විටම ඉදිරිපත් කොට ඇත්තේ ඓතිහාසික පසු බිමක් මතය. නිදර්ශනයක් වශයෙන් විනය පිටකයේ භික්ෂූන් උදො නීතිරීති පනවා ඇත්තේ ඒවා පැනවීමට තුඩු දුන් අවස්ථාවන් ගැන සදහන් කරමින් ය. මෙහිදි වේලාව,ස්ථනය, හා එයට සම්බන්ධ වුණු පුද්ලගයන් විස්තර කර ඇත.කාලයාගේ ඇවැමෙන් මෙම අවස්ථානුගත විස්තර බුදුන් වහන්සේගේ දේශනාවන්ගේ තථ්‍යතාව පිළිබද මිනුම් දණ්ඩක් විය.ක්‍රිස්තු පූර්ව තුන් වැනි සයවසේ බුද්ධාම ලංකාවට කෙන ආ අවධියේ සිටම ධර්මය සදහා අටුවා සැපයීමේ සම්ප්‍රදායක් ඇරඹිණි. මෙසේ සමන්තපාසාදිකාව නම් වු  විනය අටුවාවට ප්‍රස්තාවනා වශයෙන් සැපයීණු ඓතිහාසික තොරතුරු ලංකාවේ බුදු දහම පිහිටවීමට තුඩු දුන් අවස්ථාව සහ සිද්ධි විස්තර කොට ගත් අටුවා සාහිත්‍ය සමග සම්බන්ධ වීම බලාපොරොත්තු විය හැකි අනිවාර්ය දියුණුවකි.
මහාවංසයේ පළමු කොටසේ කතුවරයා හදුනා ගැනීමට මහා වංසයෙන් කිසිදු උපකාරයක් නොලැබේ. එහෙත් වංසත්ථප්පකාසිනිය එ සදහා උපකාරි වන විස්තරය අපට ලබා දෙයි. දික්සද සෙනවිරදුන් විසින් කරනවන් ලද මහපිරිවැන් වැසි මහාවංස අර්ථ සාරයේහි ප්‍රවීණ, ආචාර්යයන් කෙරෙන් ලද පැරණි හෙල අටුවායෙහි භාෂාණ්තරය හැර අර්ථ සාරයම ගෙන හෙළ බසට අනුරූප වන සේ කරන ලද පද්‍ය පද මහාවංසය යනුවෙන් එහි සදහන් වේ. මහාවංසයේ අඛණ්ඩ කොටසේ දෙවැනි භාගයේ මහානාම නම් ස්ථවීරයන් වහන්සේ කෙනෙක් දික්සද පිරිවෙණේහි විසු බවත් ධාතුසේන කුමාරයා පරසතුරන්ගෙන් ආරක්ෂාවීමට පැවදිව සිටියේ උන් වහන්සේ ලග බවත් සදහන් වේ. මහානාම හිමියන් විසු කාලය මෙසේ පස්වන සියවසයැයි ගත හොත් පරසතුරන් නසා අනුරාධපුර අගනුවර මුල් කරගෙන යලිත් එක් සෙසත් ලංකාවක් බිහි කිරීමට පිහිට වු ධාතුසේන රජුගේ මාමා මෙම මහානාම හිමියන්ම බව පිළීගැනීමට පාධාවක් නොමැත. එසේ වුවත් මහාවංසය උන් වහන්සේගේ ස්වාධීන රචනාවක්ම නොවීය. එයට පෙර පවැති සියළු මුලාශ්‍ර උන්වහන්සේ විසින් ඇසුරු කොට ගත් බව පෙනී යන්නා වු කරුණක් වේ.
වංසත්ථප්පකාසිනියේ හි සීහළට්ඨකථා මහාවංස යනුවෙන් සදහන් කොට ඇත්තේ ද මහාවංසයට මූලික මූලාශ්‍රය වූයේද මේ කෘතිය වන්නට ඇතැයි අපට සිතන්නට හැකි වේ. සීහළට්ඨකථා මහාවංසය මහාවිහාරයේදි ලියන ලද බව වංසත්ථප්පකාසිනියේ ඉදුරාම සදහන් කර ඇත්තේ ය. මහාවංස කතුවරයා වු මහානාම හිමියන් ස්වකීය විහාරයේ පැවති තොරතුරු ප්‍රෙයා්ජනයට ගැනීම අනිවාර්යෙන්ම සිදු වන්නකි. වංසත්ථප්පකාසිනියේ පැහැදිලිවම දක්වා ඇති පරිදි ලංකාවේ පුරාතන ඉතිහාසයට අදාල ඓතිහාසික ලේඛන මහාවිහාරයට පමණක් සීමා වුවක් නොවේ. අනුරාධපුර මහාවිහාරයට ප්‍රතිපාක්ෂික උත්තර විහාරය හෙවත් අභයගිරිය නමින් විහාරයක් පැවති බවද ප්‍රකට කරුණ කි. මහාවිහාරයෙන් බිදි ආ භික්ෂූන් පිරිසක් මෙහි වාසයට පැමීණි බව සදහන් වීමෙන් ඔවුන් මහාවිහාරයේ පැවති බුද්ධිමය සම්ප්‍රධායන් ද රැගෙන ආ බව ද සැකයක් නොමැත. වංසත්ථප්පකාසිනියේ සදහන් වන උත්තරවිහාරට්ඨකථා එසේ පැවති වංසකතා සම්ප්‍රදායක් එළිදැක්මක් විය හැකි වේ. වංසත්ථප්පකාසිනියේ එක් අවස්ථාවක උත්තරවිහාරවාසිං මහාවංසං එනම් උත්තර විහාරයේ වාසය කරන භික්ෂුන්ගේ මහා වංසය යනුවේන දක්වයි.
මහාවංසයේ ප්‍රථම කොටස අධ්‍යනයේදි සැලකිල්ලට ලක්විය යුතු වැදගත් කරුණක් ඇත. මහාවංස ටීකාව හෙවක් වංසත්ථප්පකාසිනිය නොමැති නම් එහි කතුවරයා කවරෙකු ද යන්න අපට හදුනා ගත නොහැකි වන්නට ඉඩ තිබුණි. එය බොහෝ පෙරදිග ග්‍රන්ථ කතුවරුන් අනුගමනය කළ පිළිවෙතකි. අනාගත පරම්පරාවන්ට අනුස්මරණය සදහා ආරක්ෂාකර තැබිය යුත්තේ සිය පෞද්ගලිකත්වය නොව තමා විසින් කරන ලද උදාර කාර්යයයි. මහාවංස කතුවර මහානාම හිමියන්ගේ භාරදූර කාර්යවූයේ තමන්ට ලැබුණු මූලාශ්‍රයන්වලින් කරුණු එක් රැස් කොට ඒවා තෝරා බේරා ගනිමින් හැකි තාක් අපක්ෂපාති ලෙසින් විවිරණය කරමින් ශිෂ්‍යන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකි හා ස්මරණයට පහසු අයුරින් ශාසන ඉතිහාසයත් දීපය හෙවත් අනුරාධපුරය කේන්ද්‍රකර ගත් ශ්‍රී ලංකාවේ රාජපරම්පරා ඉතිහාසයත් ව්‍යක්ත පාලි බසට නැගීමයි. නූතන ඉතිහාස කෘතියකින් අපෙක්ෂා කරන සමාජ, ආර්ථික ඉතිහාසය ආදි හෑම අංශයක්ම සමන්විත වු පරිපූර්නත්වයක් මහාවංශයෙන් අපෙක්ෂා කළ නොහැකි වේ. එහෙත් සෑම අතින්ම තොරතුරු ලබා ගත හැකි අග්‍රගණ්‍ය මූලාශ්‍රයක් ලෙසින් මහාවංසයේ ලෝකයේ කිසිදු ඉතිහාස සම්ප්‍රදායකට නොදෙවැනි වෙයි. ශ්‍රී ලංකාවේ වංස කතා සම්ප්‍රදායට මුල් වුවොත් එම සම්ප්‍රදාය අඛණ්ඩව ආරක්ෂා කරගෙන ආවෝත් මහා සංඝයා වහන්සේලාය. ආගමේ ඉතිහාසයත් සිංහල ජාතියේ ඉතිහාසයත් එකට බැදි වෙළි අන්‍යොන්‍ය සහ සම්බන්ධයකින් යුතුව ගමන් කළ බව හොදින්ම පෙනී යන්නේ ය.

ආශ්‍රීත ග්‍රන්ථ
මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන (සංස්)    - ඉතිහාසයේ අතීතය.
මහාචාර්ය සිරිමා කිරිබමුණේ                             -  මහාවංසය හා ලක්දිව පැරැණි ඓතිහාසික සම්ප්‍රදාය.
මහාචාර්ය මංගල ඉලංසිංහ                                - මහාවංශය සහ ශ්‍රී ලංකාවේ ඉතිහාස සම්ප්‍රදාය.
මහාචාර්ය හේම් චන්ද්‍ර රායි (සංස්)                     - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය.
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර                             - රජරට ශීෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි.

Monday, February 9, 2015

උඩරට රාජධානිය සහ එහි පරිපාලනය.

උඩරට රාජධානිය සහ එහි පරිපාලනය.
උඩරට රාජධානිය යනුවෙන් හැදින්වෙනුයේ 1590 දි ලංකාවේ මධ්‍යම කදුකරය කේන්ද්‍ර කර ගනිමින් පළමු වන විමලධර්මසුරිය රජු විසින් ආරම්බ කරන ලද රාජධානියයි. නමුත් එයට පෙර අවස්ථා ගණනාවකිදීම උඩරට පාලන ඒකකයක්, පරිපාලන එකකයක් වශයෙන් පැවතුන බවට තොරතුරු හමුවේ. එසේම පුර්ව බ්‍රහ්මීය ශිලා ලේඛනයන්ගේ ව්‍යාප්තිය දෙස බලන විට මධ්‍යම කදුකරය ආශ්‍රීතව  ස්ථාන 24 කින් අභිලේඛන 84 ක් පමණ සොයා ගන තිබේ. යටත් පිරිසෙන් මෙම අවධියේදි මධ්‍යම කදුකරය ආශ්‍රිතව ස්වාධින පරිපාලන ඒකක පැවති බව මෙම අභිලේඛනවල සදහන් රජ, පරුමක යන විරුදයන් දෙස බලන විට පැහැදිලි වන කාරණයකි. මලය රට, මලය රට්ට, ගල්වල රට යනුවෙන් එකල්හි මධ්‍යම ප්‍රදේශය ඇතුලත්වන කදුකරය හදුන්වා තිබේ. අනුරාධපුර, පොළොන්නරු, රාජධානි අවධීන්හිදි ප්‍රාදේශිය පරිපාලන ප්‍රදේශයක් වශයෙන් පාලකයකු යටතේ පාලනය වු බවට බොහො තොරතුරු මුලාශ්‍රයන්හි සදහන් වේ. ඉන් පසු ගම්පොල රාජධානිය ලෙසින් දාහතරවන සියවසහිදි මධ්‍යම කදුකරය පළමුවරට රාජධානි කේන්ද්‍රය බවට පත් වන්නේ ය. ඉන් පසු කෝට්ටේ රාජධානියේ හිමිකාරිත්වය පෘතුගීසින් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව 1590 සිට 1815 දක්වා රජවරුන් 9 දෙදෙකු යටතේ පාලනය වු උඩරට රාජධානිය 1815 වර්ෂයෙදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විය.
            උඩරට රාජධානිය සිංහල රජවරුන් විසින් පාලනය කරන ලද අවධියේදි  පාලනයේ පහසුව සදහා උඩරට ප්‍රදේශ දිසාවනි සහ රට වසම යනුවෙන් පරිපාලන ඒකක 21කට බෙදා තිබුණි. දිසාවනි ප්‍රමාණයෙන් 12 ක් වු අතර රට වසම් ප්‍රමාණයෙන් 9 යකි.
උඩරට දිසාවනි දොළස මෙසේ ය.
නුවර කලාවිය
සත් කෝරළේ
හතර කෝරළේ
තුන් කෝරළේ
සබරගමුව
ඌව
වෙල්ලස්ස
බින්තැන්න
තමනුකඩුව
මාතලේ
වලපනේ
උඩ පළාත
උඩරට රට වසම් නවය මෙසේ ය.
දුම්බර
හාරිස්පත්තුව
තුම්පනේ
යටිනුවර
 උඩුනුවර
කොත්මලේ
හේවාහැට
උඩබුලත්ගම
පාතබුලත්ගම
උඩරට පරිපාලන නිලධාරින්
උඩරට රාජධානියේ අසාහය නායකයා වුයේ රජු ය. රජුගේ බලය රාජධානිය තුල උත්තරිතර විය. රජුට පසුව උඩරට රාජධානියේ ප්‍රධාන නිලධාරියන් වුයේ අධිකාරම් දෙපලය. ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා වුයේ ද මොවුන් දෙදෙනාය. පසුව අවසාන රජ වු ශ්‍රි වික්‍රමරාජසිංහ රජුගේ කාලයේ දි සියපත්තුවේ අධිකාරම් යනුවෙන් තුන්වෙනි අධිකාරම් තනතුරක් ඇති කරන ලදි. ඒ අනුව
පල්ලේගම්පහ අධිකාරම මහඅධිකාරම් ලෙසට විය.
උඩගම්පහ අදිකාරම දෙවන අධිකාරම ලෙසට විය.
සියපත්තුවේ අධිකාරම තුන්වන අධිකාරම ලෙසට විය.
පල්ලෙගම්පහ සහ උඩගම්පහ යන අධිකාරම හට හිමි වු බලතල එක හා සමාන වු අතර සෑම විටම පල්ලෙගම්පහ අධිකාරම මහඅධිකාරම ලෙසට පත් විය.
අධිකාරම්වරුන්ට අමතරට දිසාව සහ රට වසම පාලනය සදහා දිසාවේවරුන් සහ රමේ මහත්වරුන් රජතුමා විසින් පත් කරන තිබුණි. දිසාවක් ලෙසින් හැදින්වෙන පරිපාලන ප්‍රදේශයේ පාලකයා දිසාවේවරයෙකු නමින් හැදින් වේ. දිසාවේවරයාට තම බල පෙදෙසේ අධිකරණ සහ විධායක බලතල හිමි විය. රජතුමන් හිමි විය යුතු බදු මුදල් රැස්කර මහනුවර භාණ්ඩාගාරයට යැවීමේ වගකීම හිමි වුයේ දිසාවේවරයාටය. බල ප්‍රදේශයේ මං මාවත් තැනවීම, අළුත් වැඩියාව, පැන නගින්නා වු නඩු ආරවුල් විසදීම ආදි කයටුතු රාශියක් දිසාවේවරයාට නිල බලයෙන් හිමි විය. දිසාවේවරයෙකු පත් කරන ලද්දේ රජතුමන් විසින් වේ. පත් කිරීම වසරක් සදහා වේ. තනතුර දැරීමම වෙනුවෙන් දිසාවේවරයා වාර්ෂිකව රජුට මුදලක් ගෙවිය යුතු වේ. රජු විසින් දිසාවේවරයෙකු පත් කරන විට ඔහුට ඇතෙකු හෝ අශ්වයෙකු තෑගි කිරීම සාමාන්‍ය සිරිත වේ.
            මහනුවර තදාසන්නව පිහිටි කුඩා කොට්ඨාෂ හදුන්වනු ලබන්නේ රට වසම යනුවෙන් ය. සාමාන්‍ය ව්‍යවහාරයේදි රට වසමක පාලන බලය හිමිවු තැනැත්තා රටේ මහත්තයා යනුවෙන් හැදින්වූවද රාජ සභාවේදි රටේ රාළ යනුවෙන් ඔහුව හදුන්වන ලදි. රටේ රාළලාගේ සේවාව දිසාවේවරයෙකු රාජකාරියට සමාන වුව ද දිසාවේවරුන්ට වඩා වගකීමෙන් අඩු පිරිසක් විය. සෘජුවම රජුව විසින් පත් කරන නිලධාරින් පිරිසක් වු හෙයින් දිසාවේවරුන්ට යටත් නිලධාරින් පිරිසක් ද නොවිය. රට වසමක සිවිල් නඩු විසදීමෙහි බලය හිමි වුයේ රටේ මහත්වරුන්ටම විය.
දිසාවනියක ප්‍රධානියා හැදින්වු ආකාරය.
ඌව මහදිසාවේ
මාතලේ මහදිසාවේ                                 
සත් කෝරළේ මහදිසාවේ                      
හතර කෝරළේ මහදිසාවේ
තුන් කෝරළේ දිසාවේ
සබරගමුව දිසාවේ
වෙල්ලස්ස දිසාවේ
බින්තැන්න දිසාවේ
තමනුකඩුව දිසාවේ
වලපනේ දිසාවේ
උඩ පළාත දිසාවේ
නුවර කලාවිය දිසාවේ
දිසාවනියක ප්‍රධානියා හැදින්වු ආකාරය.
දුම්බර රටේ මහත්තයා
හාරිස්පත්තුව රටේ මහත්තයා
තුම්පනේ රටේ මහත්තයා
යටිනුවර රටේ මහත්තයා
 උඩුනුවර රටේ මහත්තයා
කොත්මලේ රටේ මහත්තයා
හේවාහැට රටේ මහත්තයා
උඩබුලත්ගම රටේ මහත්තයා
පාතබුලත්ගම රටේ මහත්තයා
මෙම සෑම තනතුරකටම පත් වුයේ උඩරට රදළ ප්‍රධානීන් ය. ඔවුන් උඩරට පළමු පෙල රදළ පවුල්වලින් සමන්විත විය. මෙම තත්ත්වය උඩරට පාලන බලය හිමි කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ද මුල් කාලයේ පවත්වාගෙන ගිය අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වුයේ ඔවුන්ගේ පාලය සදහා උඩරට රදළ ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමයි.
අධිකාරම්වරුන්ට හිමි අධිකරණ බලය

බලය අතින් රජු ළඟට අවරෝහණව සිටි බලධාරීන් වූ අධිකාරම්වරු ඔවුන්ගේ විශේෂ අධිකාරියට යටත් වන සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් රජුගේ සම්පූර්ණ බලයට පමණක්‌ යටත් වන විශාල අධිකරණ බලයක හිමිකරුවන් විය. "මහ නිලධාරි" යන ගෞරවාර්ථ පදයෙන් හඳුන්වනු ලැබූ අදිකාරම්වරු රජුගේ සහ උඩරට රාජධානියේ ප්‍රධාන අමාත්‍යවරු ද වූහ.

පොදුවේ තම බලයට යටත් වූ පළාතේ වැසියන් සම්බන්ධයෙන් අනෙක්‌ ප්‍රධානීන් සමඟ එකට පාවිච්චි කළ යුතු අධිකරණ බලයක්‌ ලෙස ඔවුන්ගේ බලය විග්‍රහ වූ අතර එම නිසාම ඔවුන් විසින් මෙම බලය පාවිච්චි කරන ලද්දේ අදාළ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණි.

සිය බලසීමාව තුළ වූ පුළුල් බලතල අතර ආදායම්, පරිපාලන, යුද, අධිකරණ හා පොලිස්‌ රාජකාරි යනාදී වශයෙන් වූ බලතල ප්‍රමුඛව විග්‍රහ කොට ගත් අදිකාරම්වරු ඉන් සිය බලසීමාව තුළ වූ යුක්‌තිය පසිඳලීමේ බලය එනම් අධිකරණ බලය අනන්‍යව භුක්‌ති විඳින ලද බව කියෑවෙයි. සියලුම සිවිල් නඩු විභාග කළ හැකි වූ නමුත් රාජකීය හෝ දුක්‌ගන්නා ඉඩම්වලට බලපාන නඩු (විත්තිකරු අසතුටට පත්වූයේ නම්) විභාග කළ නොහැකි විය. පහරදීම, සොරකම හා මංකොල්ලය ඇතුළු සියලුම අපරාධ විනිශ්චය කිරීමේ බලය අධිකාරම්වරුන්ට පවරා දුන් නමුත් මරණ දඬුවම පැමිණවිය හැකි වූයේ රජුට පමණක්‌ බැවින් ඔවුන්ට දරුණු අපරාධ විනිශ්චය කළ නොහැකි විය.

යුක්‌තිය පසිඳලීමේ කාර්යයේදී අදිකාරම්වරු කෙතරම් දුරට ඵලදායි වූයේද යන්න අවිනිශ්චිතය. උඩරට රාජධානියේ බ්‍රිතාන්‍ය පාලනය ස්‌ථාපිත කිරීමෙන් පසු ප්‍රථම නේවාසික නිලධාරියා වූ හා උඩරට සිරිත් හා ආයතන පිළිබඳ යම් ඵලදායී දැනුම් මට්‌ටමකින් හා අවබෝධයකින් සිටි ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත්තේ අදිකාරම්වරු හා අනෙකුත් ඉහළ තනතුරු දැරූ දිසාවේ වැනි රාජකීය නිලධාරීන් රාජධානියේ ඉහළ පවුල්වලින් පත්කරනු ලැබූ හෙයින් ඔවුන්ට ජනයා අතර යුක්‌තිය මනා ලෙස පසිඳලීම සම්බන්ධයෙන් අත්දැකීම හා හැකියාව නොතිබූ බවයි. මේ සම්බන්ධයෙන් නොක්‌ස්‌ වැනි අන්‍යයන් විසින් ද අදහස්‌ දක්‌වා තිබේ. මහනුවර අවසන් රජුගේ කාලයේදී අත්තනෝමතික ක්‍රියා සිදු වූ බැව් හා විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් නිරාකරණය නොකරන ලද නඩු ගොඩ ගැසී තිබුණු බව ද යන කාරණය මෙහිදී වැදගත් වේ. කරුණු එසේ දැක්‌වුණද ඩොයිලි වැනි ඉංග්‍රීසි නිරීක්‍ෂකයින් විසින් සිංහල ඉහළ නිලධාරීන් වෙත ආරෝපණය කරන ලද අඩුපාඩුකම් හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාමය මනාව ක්‍රියාත්මක නොවීමක්‌ සම්බන්ධයෙන් සාක්‍ෂි නොමැති බව කීමට පුළුවන.

දිසාවේවරුන්ට හිමි වු අධිකරණ බලය

දිසාවේ යනු උඩරට රාජධානිය බෙදා වෙන්කරන ලද දිසාවනී හෙවත් පළාත් වශයෙන් හැඳින්වූ ප්‍රධාන කොට්‌ඨාස දොළහේ ආණ්‌ඩුකාරවරු වූහ. සිය පළාත තුළ දිසාවේට ආදායම්, පරිපාලන, හමුදා සහ අධිකරණ බලතල තිබූ අතර නිල ධුරාවලිය තුළ ඔවුහු අධිකාරම්වරුන්ට දෙවැනි වූහ.

රජ මාලිගයට හෝ වෙනත් ප්‍රධානියකුගේ අංශයකට සම්බන්ධ අය හැර තම ප්‍රදේශයේ හෝ දිසාවේ වූ සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් වූ මොවුන්ගේ උක්‌ත බලතල සමඟ අසීමිත සිවිල් අධිකරණ, බලයක්‌ තිබූ බව මෙහිදී නිරීක්‍ෂණය කිරීමට පුළුවන. මොවුනට අත්සන් කළ තීන්දු ප්‍රකාශ කිරීමට හැකිවිය. රජමාලිගයේ හා තානාන්තර ප්‍රධානීන් සම්බන්ධ ආරවුල් හා බරපතල අපරාධ හැරුණු කොට අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අධිකරණ බලය තිබූ ඔවුහු වරදකරුවන්ට දඩ ගැසීම, සිරභාරයට ගැනීම, කසය, කෝටුව වැනි විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරමින් ශාරීරික දඬුවම් පැමිණවීම වැනි නෛතික විග්‍රහයන් සිදුකළ අතර දඬුවම් ලබාදීමේදී උසස්‌ හා පහත් ලෙස සඳහන් වූ කුලවල මිනිසුන් අතර වෙනසක්‌ දැක්‌වීමේ ව්‍යාතිරේඛයට යටත් වූහ. දිසාවේ වංශවත් හා උසස්‌ නිලධාරීන්ට ශාරීරික දඬුවම් පැමිණවූයේ නැත.

සාමාන්‍යයෙන් දිසාවේ විසින්ම නඩු විභාග කරන නමුත් ප්‍රධාන ගම්මුලාදෑනිගේ සහභාගිත්වය සහ අදහස්‌ විමසීම මෙහිදී අපේක්‍ෂිත විය. එමෙන්ම පසු කාලයේදී ප්‍රධාන මොහොට්‌ටාලවරු හෝ කෝරාලවරු දෙදෙනකුට හෝ තුන්දෙනකුට පරීක්‍ෂණ පැවැත්වීමට භාර කරනු ලැබූ බව ද දැක්‌වේ.

මහා මුහන්දිරම්වරු, රටේ මහත්වරු, ලේකම්වරු, ප්‍රධාන උඩරට ප්‍රධානීන්ට හිමි වු අධිකරණ බලය

මහා මුහන්දිරම්වරුන්ට, රටේ මහත්වරුන්ට, ලේකම්වරුන්ට, පන්සල්වල ප්‍රධානීන්ට හා රජ මාලිගයට හා ගෘහයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්ට තම පාලනයට යටත් වූ සියලුම අයවළුන් සම්බන්ධයෙන් අපරාධ හා සිවිල් බලතල තිබුණි. මෙම සිවිල් බලතල සීමා රහිත බලතල ලෙස විග්‍රහ වුවද අත්සන් කළ තීන්දු ප්‍රකාශ හෝ දිවි සීට්‌ටු දීම හෝ මහනුවරදී දිවුරුම් ගැනීම, ඔවුනට කළ නොහැකි විය. දරුණු අපරාධ හැරුණු විට අනෙකුත් සියලු අපරාධ විභාග කිරීමට ඔවුනට හැකි වූ අතර වරදකරුගේ නිලය සහ තත්ත්වය අනුව ශාරීරික දඬුවම් පමුණුවා තිබේ. කෙසේ වුවද කෝරාලවරු, ආරච්චිවරු හා පන්සල්වල ප්‍රධාන නිලධාරීන් ශාරීරික දඬුවම්වලට ලක්‌කරන ලද්දේ ඉතා කලාතුරකින් බව පෙනේ.






ඡායාරූප උපුටා ගැනීම රැල්ෆ් පීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධාන කෘතියෙනි.

Friday, February 6, 2015

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ.

දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ.
සම්මත ප්‍රේමය නිසා අමාරුවේ වැටුණ ප්‍රේමවන්තයකු පිළිබඳ කතන්දරයක්‌ මහනුවර යුගයෙන් ද අසන්නට ලැබේ. එනම්, දස්‌කොන්-ප්‍රමිලා දෙදෙනාගේ ප්‍රේම කතාන්දරය යි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු වූ දස්‌කොන් අදිකාරම රජ බිසවක වූ ප්‍රමිලා දේවිය සමඟ පෙම් සබඳකමක්‌ ඇති කර ගත්තේය. එය හෙළිදරව් වීම නිසා කෝපයට පත් රජු දස්‌කොන්ගේහිස ගසා මරා දමන්නට නියම කළේය. දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය ජනප්‍රවාදයේ එන ආකාරයට නම් මෙසේ ය
දස්‌කොන් අදිකාරම සහ ප්‍රමිලා දේවිය අතර පැවැති අසම්මත ප්‍රේමය නරේන්ද්‍රසිංහ රජුට දැනගන්නට ලැබුණේ විශේෂ සිද්ධියකිනි. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වූ බලි තොවිල් යාගයකට ඇයගේ රූපය අඹන්නට වුවමනා විය. බලි ඇදුරෝ දේවියගේ සිරුරේ රහස්‌ තැනක තිබූ ලපයක්‌ එම රූපයේ නිවැරැදිව සළකුණු කළහ. එම ලපය තබන්නට කීවේ කවුරුන්දැයි විපරම් කළ රජුට දැනගන්නට ලැබුණේ දස්‌කොන් අදිකාරම්ගේ නියමයෙන් එය සිදු කෙරුණ බව යි. ඔහුදඬුවමට ලක්‌වන්නේ එයින් පසුව යි



දස්කොන් අදිකාරම කලාකාමි සිතක් තිබු පුද්ගලයෙකු බව සදහන් වේ. එක් අවස්ථාවක දි අදිකාරම විසින් ප්‍රමිලා බිසව වෙනුවෙන් පහත සදහන් කවිය ගායනා කර තිබේ.


රන්මාලය පැළඳගෙන ගත                     සුවිපුල්ලා
 ඉන් ආලය වඩයි මගෙ සිත                    නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත්                     උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා                      ගුල්ලා

එම කවියට පිළිතුර ලෙසින් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය ගායනා කර තිබේ.

යන්නෝ මෙමග රෑ දහවල තොර                  වෙත්ද 
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා           බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා                      දෙත්ද
දන්නෝ උපා මිණී බැඳි දොර                       නාරිත්ද

සිරගතව සිටින අවස්ථාවේ දි දස්කොන් අදිකාරම වෙනුවෙන් ප්‍රමිලා බිසව පහත සදහන් කවිය කියා තිබේ.


           සක්‌මන් කරන මළුවේදී                                      බැඳි හාද
 සිත් සන්තොසින් දුන් මුව                         මී බීවාද 
ඉක්‌මන් ගමන් අහො අද ඔබ                     යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ                  දෙනවාද


එම කවියට පිළිතුර ලෙසින් දස්කොන් අදිකාරම පහත සදහන් කවිය ගායනා කර තිබේ.

විසැස්‌ කමලාව රස පහස                 නොවිඳ මා 
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු                  පමණ මා
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස          ලත් මෙමා
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ                 නමට කිමා





දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ.......//

සියොලග හිමි ලග හදවත මා ලග කෙලෙස ද හද බැදලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ
දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ
එනමුත් ලදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ




ගායනය පණ්ඩිත් අමරදේවයන් සමගින් විශාරද නීලා වික්‍රමසිංහ.